ජනපති ඝාතන සැලැස්ම ගැන පුළුල් පරීක්ෂණ

ජනපති ඝාතන සැලැස්මේ සැකකරු මාර්තු 4 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

by Staff writer 16-12-2019 | 7:17 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එම කණ්ඩායමේ අයෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු මාර්තු මස 04 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා මෙම නියෝගය කළේ, පරීක්ෂණ කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සැකකරු 2011 වර්ෂයේදී වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හා දේපොළවලට පහරදීමේ චෝදනාවට සම්බන්ධ අයෙකු බවයි. එමෙන්ම එරාවුර්, මඩකලපුව, වාලච්චේන සහ කලවන්චිකුඩි යන පොලිස් වසම් තුළ සිදු කරන ලද අපරාධ 7ක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල අධිකරණවලින් ඇප ලබා සිටින අයෙකු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.