ක්ෂය රෝගයෙන් වසරකට 400ක් මිය යන බවට හෙළිදරව්වක්

ක්ෂය රෝගයෙන් මෙරට වසරකට 400ක් මිය යන බවට හෙළිදරව්වක්

by Staff writer 16-12-2019 | 8:58 AM
COLOMBO (News 1st) : ක්ෂය රෝගය හේතුවෙන් මෙරට වසරකට පුද්ගලයින් 400 ක් මියයන බව සෞඛ්‍ය අංශ පවසයි. ක්ෂය රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. එම සංඛ්‍යාව දහසකට අධිකයි. බෝවන රෝගයක් වන ක්ෂය රෝගයේ රෝග කාරකය මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නමැති බැක්ටීරියාවයි. රෝගය වැළදී ඇති පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුගේ සිරුරේ පටක තුළට රෝග කාරක ක්ෂුද්‍ර‍ ජීවියා ඇතුළු වන අතර එය ආසාදන තත්ත්වය ලෙස හැඳින්වේ. ආසාදනය වූ පමණින් පුද්ගලයෙකු ක්ෂය රෝගියෙකු නොවන අතර ආසාදිතයෙකුගේ ප්‍ර‍තිශක්තියේ දුර්වලතාවක් ඇති වූ අවස්ථාවක එය රෝගයක් බවට වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදන වූ සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුට රෝගය වැළඳෙන බවයි. - ආහාර මදකම හා දුෂ්පෝෂණය - අධික මත්පැන් පානය - පමණ ඉක්මවා වෙහෙසීම - පිරිසිදු වාතයෙන් තොර ස්ථානවල ජීවත්වීම ක්ෂය රෝගය වැළඳීමට හේතුවේ. රෝගයේ ලක්‍ෂණ මෙසේයි. - කල්පවතින මඳ උණ - සති 3 හෝ 4 කට වඩා පවතින කැස්ස - රාත්‍රි නින්දේදී දහඩිය දැමීම හා උණ - ශරීරය කෙට්ටුවීම හෝ ක්‍රමයෙන් බර අඩුවීම - සෙම හෝ කෙළ සමඟ ස්වල්ප වශයෙන් ලේ පිටවීම - පපුවේ වේදනාව - මහන්සිය - කෙටි ශ්වසනය - ආහාර අරුචිය සෞඛ්‍ය අංශ පවසන්නේ ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක් මෙන්ම ,රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් දිවයිනේ දිස්ත්‍රික් රෝහල්වල තිබෙන බවයි. ක්ෂය රෝගය බෝවිම වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි පියවර කිහිපක් ද වෛද්‍යවරු පෙන්වා දෙති. 1. වාසය කරන ස්ථානයට හොඳීන් වාතාශ්‍ර‍ ලැබෙන පරිදි හිරුඑළිය ගලා එන පරිදි දොර ජනෙල් විවෘතව තැබීම. 2. මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකීම. 3. කැස්සකදී හෝ කිවිසුම් යාමකදී ලේන්සුවකින් මුඛය ආවරණය කර ගැනීම. 4.තැන තැන කෙළ ගැසිමෙන් වැළකීම