නාවික හමුදාව ගාලු මුහුදේදී කාන්තාවක බේරා ගනී

නාවික හමුදාව ගාලු මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගනී

by Staff writer 15-12-2019 | 2:10 PM
COLOMBO (News 1st) : ගාල්ල වරාය ආසන්න මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය. ගාල්ල වරායේ පිවිසුමේ සිට ගාල්ල නගරය දෙසට වන මුහුදේ යම්කිසි පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටින බව ගාල්ල වරායේ‍ සේවයේ නියුතු නිවික පුද්ගලයින්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. අනතුරුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව සහන කණ්ඩායමක් මේ සඳහා පිටත් කර යැවූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙහෙයුම සාර්ථකව අවසන් කොට ගිලෙමින් සිටි කාන්තාව බේරා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර පසුව ඇය ගාල්ලේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ජැටිය වෙත රැගෙන එනු ලැබී ය. මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල‍ට රැගෙන ගොස් තිබේ.