වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 90ක්: රෝගීන් ගණන 87,000 ඉක්මවයි

by Staff writer 14-12-2019 | 12:02 PM

COLOMBO (News 1st): 2019 වර්ෂයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 87,364 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම තත්ත්වය ගිය වසරට සාපේක්ෂව රෝගීන් 35,705ක ඉහළ යාමකි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ. 2018 වසරේ අදාළ කාලය තුළ වාර්තා වී තිබු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,659කි. එම රෝගීන්ගෙන් 44.8% ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,949කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 13,718 දෙනෙකු වාර්තා වී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,698 ක් වේ. මේ අතර මාතලේ නගරයේ ඩෙංගු මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කෙරිණි. අප වාර්තාකරු පැවසුවේ මාතලේ නගරාධිපති ඩල්ජීත් අලුවිහාරේ මහතා සහ මහනගර සභාවේ සේවක මණ්ඩලය ඊට එක්ව සිටි බව ය. මාතලේ නගරාධිපති ඩල්ජීත් අලුවිහාරේ මහතා මාතලේ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු මේ වනවිට 410 ක් ඉන්නවා. දෙදෙනෙක් මේ ප්‍රදේශයෙ මියගිහින් තියෙනවා කුඩා දරුවෙක් ඇතුලුව ඒ නිසා ඩෙංගු අවධානම පිළිබදව නිවෙස්වලට ගොස් ඒ පිළිබදව අවධානම් තත්ත්වය පිළිබදව දැනුවත් කරනවා. මේ අතර කරවනැල්ල මූලික රෝහලේ අපජලය බැහැර කිරීම ක්‍රමවත් ලෙස සිදුනොවීම හේතුවෙන් ඩෙංගු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි. ඔවුන් ප්‍රකාශ කළේ වසර 40 ක පමණ පැරණි වලකට අපජලය බැහැර කරන අතර, එහි ජලය උතුරා ඇල මාර්ගයක් ඔස්සේ ගොස් කැලණි ගඟට එක්වන බව ය. මේ අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර්, කිලිවෙඩ්ඩි, සාම්පුර් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 324 දෙනෙකු වාර්තා වී තිබේ. පසුගිය අඟහරුවාදා තෝපුර් ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක ද ඩෙංගු රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්විය.