ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගය

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට අධිකරණ කමිටුවේ අනුමැතිය

by Staff writer 14-12-2019 | 9:19 AM

(News 1st): අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පූර්ණ ජන්ද විමසීම ඉදිරි සතියේදි එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදි පැවැත්වීමට නියමිතව ඇති බව ය. අදාළ ජන්ද විමසිම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කර තිබේ. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ අධිකරණ ක්‍රියාවලිය ලබන මාර්තු මාසයේ ආරම්භ කෙරෙනු ඇති බව ය. එහි තීන්දුව ලබන ජුනි 30 වැනිදාට පෙර ලබා දීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය සැලසුම් කර තිබේ. ජනපති ට්‍රම්ප්ට එරෙහි ඇතැම් විමර්ශන සඳහා මෙම වාර්තා නිකුත් කරන ලෙස ප්‍රතිවාදි ඩිමොක්කොටික් කොංග්‍රස් සභිකයින් නිරන්තරයෙන් ඉල්ලිම් ඉදිරිපත් කළේය. අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනපතිවරයා හෙළි කළ යුතු බවට පහළ උසාවි තීන්දු කර ඇති නමුත් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥයන් අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ප්‍රධාන විධායකවරයා ලෙස ඔහුට යම් මුක්තියක් තිබෙන බව ය. මෙම නඩුව මගින් සැළකිය යුතු ව්‍යවස්ථාමය ගැටලු මතු විය හැකි බව ජනපති ට්‍රම්ප්ගේ නීතිඥයන් සඳහන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට මාස 6 කට පෙර ලබා දෙන මෙම තීන්දුව ජනාධිපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක බලපැමක් එල්ල කරනු ඇති බව ය.