කෝටි 03ක හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි 03ක හෙරොයින් සමග දෙදෙනෙකු මොරගහහේනේදී අත්අඩංගුවට

by Staff writer 14-12-2019 | 10:57 AM

COLOMBO (News 1st): හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකදී ය. සැකකරුවන් විසින් එම හෙරොයින් තොගය මෝටර් රථයකින් හා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 03 කට අධික ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා ප්‍රශ්න කිරිමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් සමග මෝටර් රථය සහ යතුරු පැදිය ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයක කළ මෙහෙයුම්වලින් හෙරොයින් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල, රත්ගම, මාතර සහ හංවැල්ල ප්‍රදේශවලදීය. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4500 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.