බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

by Staff writer 13-12-2019 | 6:49 AM
COLOMBO (News1st) : බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව ඉදිරියෙන් පසුවන්නේ කම්කරු පක්ෂයයි. පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙසින් නිව්කාසල් මධ්‍යම මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵලය නිකුත් කෙරිණ. ඡන්ද 21 568 ක් සමගින් ආසන 2 ක් දිනාගනිමින් කම්කරු පක්ෂය එහි ජය තහවුරු කරගත්තේ ය. ඡන්ද 9290 ක් ලබාගත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ කොන්සවේටිව් පක්ෂයට එහිදී හිමිවූයේ ආසනයක් පමණි. එහෙත්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය බහුතර බලයක් සමගින් මහමැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගනු ඇති බව මත විමසුම් වලදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ය. බීබීසී ලෝක සේවයේ පුරෝකතනයට අනූව කොන්සවේටිව් පක්ෂය ආසන 86 ක බහුතර බලයක් අත්පත් කරගනු ඇති. එම, මත විමසුමට අනූව ජෙරමි කෝබින් ප්‍රමුඛ කම්කරු පක්ෂයට හිමිවිය හැකි ආසන ගණන, 191 කි. ඒ අනූව 2017 පැවති මහමැතිවරණයට වඩා ආසන 50 කින් බොරිස් ජොන්සන් ජයග්‍රහණය කරනු ඇති බවට මත පළ වේ. ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ යුතුයි. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද මධ්‍යයේ මෙවර මහමැතිවරණය පැවැත්විණ. . මැතිවරණය සඳහා තරග කළ ප්‍රධාන අපේක්ෂකයින් ගණන 6 කි. ඉන් සිව් දෙනෙක් කාන්තාවෝ වෙතිි. එලෙස මහමැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සිදුවූයේ බ්‍රෙක්සිට් යෝජනාව අවස්ථා කිහිපයකදී ම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙනි. සීත සෘතුවකදී බ්‍රිතාන්‍ය මහමැතිවරණයක් පැවැත්වූයේ වසර 100 කට පමණ පසුවයි. අද මධ්‍යහ්න වන විට සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන බව, බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.