ජනපතිගෙන් විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස්

නව ආයෝජකයින් ගෙන්වා ගැනීම ගැන ජනපතිගෙන් විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස්

by Staff writer 13-12-2019 | 3:05 PM

COLOMBO ( News 1st ) - විදුලිබල අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබඳ විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීම සහ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ය. ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් එම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසදුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ විදුලිබල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබූ ඒවා නොව පෞද්ගලික සමාගම් සමග ඇතිකරගත් එකඟතාවයන් බවයි. එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.