කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ 5 සහ 6 හැර අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 13-12-2019 | 4:33 PM

COLOMBO ( News 1st ) - කොළඹ 5 සහ 6 හැර, අනෙක් සියලු ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට අනිද්දා රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම කාල සීමාව තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙනු ඇති. එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත්තේ, අඹතලේ සිට මාළිගාකන්දට ජලය රැගෙන එන ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ය. කොළඹ නගර සභාවේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැණීම් කරමින් සිටියදී නල මාර්ගයට හානි වී තිබේ. ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට නලයෙන් ජල කාන්දුවක් සිදුවන බව ය. එහෙත් ජනතාවට සිදුවන අපහසුතාව සැළකිල්ලට ගෙන කාන්දුව තිබියදී ජල අත්හිටුවීමක් නොකර අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු යොදා තිබේ. නමුත් හෙට රාත්‍රීයේ සිට කොළඹට ජල සැපයුම අත්හිටුවන්නේ නලය අලුත්වැඩියා කිරීම සඳහා ය.