බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කොන්සවේටිව් පක්ෂය ජය ගනී

බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් අගමැති ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂයට ජය

by Staff writer 13-12-2019 | 10:56 AM
COLOMBO (News1st) : බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කළේ ය. ඒ, ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමිනි. පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326 ක් ජයග්‍රහණය කළ යුතු වේ. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199 ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45 කි. මෙවර මහමැතිවරණය පැවැත් වුණේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් අර්බුදය මධ්‍යයේයී. අග්‍රාමාත්‍යවරයාට මහ මැතිවරණයක් කැඳවීමට සිදුවූයේ ද බ්‍රෙක්සිට් යෝජනාව අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙනි. ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොරිස් ජොන්සන් සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵලයෙන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ස්ථිර වූ බවයි. අපේක්ෂා බිඳ වැටුණු රාත්‍රියක් පසුකළ බව මැතිවරණයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් සඳහන් කළේ ය. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගෙන ආ සංශෝධිත යෝජනාවට අනූව ලබන ජනවාරී මස 31 වන දා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු වේ. ඒ සමෙගම බ්‍රිතාන්‍යයේ අනාගතයට කුමක් සිදුවෙයි ද?