සාග් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට

සාග් ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් පිළිගැනීමක් මධ්‍යයේ යළි දිවයිනට

by Staff writer 12-12-2019 | 7:05 AM

COLOMBO (News 1st) - 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණියහ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රාත්‍රී 10.20 ට පමණ දිවයිනට ළඟා විය. ශ්‍රී ලංකාවෙන් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක් ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 568 කි. ඉන් මලල ක්‍රීඩා, ක්‍රිකට්, හෑන්ඩ්බෝල්, පාපන්දු වැනි ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට ආසන්න පිරිසක් මෙලෙස දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඥාතී හිතමිතුරන් රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එක්ව සිටියහ. තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාව රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් මුළු පදක්කම 251 ක් හිමි කර ගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත්තේ මලල ක්‍රීඩා කණ්ඩායමයි. ඔවුන් රන් පදක්කම් 15 ක් දිනා ගත් අතර ඉන් පසුව වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත්තේ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් රන් පදක්කම් 7 ක් දිනා ගෙන තිබේ. මල්ලවපොර, බර ඉසිලීම, වුෂු, බීච් වොලිබෝල් හා ගොල්ෆ් යන තරගවලින් ශ්‍රී ලංකාවට අනෙක් රන් පදක්කම් හිමිවිය. මේ අතර අමාශා ද සිල්වා හා එම්. යූ. කුමාර ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් ඊයේ රාත්‍රීයේදීම රෝහල්ගත කෙරුණි.