වසර 23ක් ජෝර්දානයේ අපා දුක් විඳි මැදවච්චියේ නීලම්මා දිවයිනට

by Sagarika Chathumali 12-12-2019 | 7:58 PM
COLOMBO (News 1st) : ජෝර්දානයේ ගෘහ සේවයට ගොස් වසර 23ක් තිස්සේ විවිධ තාඩන පීඩනවලට ලක්ව පසුව කිසිදු තොරතුරක් නොමැතිව සිටි ලාංකික කාන්තාවක් අද යළි මව්බිමට පැමිණියා ය. අභිරහස් ලෙස ජෝර්දානයේ සඟවා ගෙන සිටි මෙම කාන්තාවට අද යළි මව්බිමට පැමිණීමට වරම් හිමි වන්නේ, පොදු ජනතාව වෙනුවෙන් වූ සිය රාජකාරීය උපරිමයෙන් ඉටු කළ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කර්යාලයේ විදේශ රැකියා අමාත්‍යංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකුගේ ඉමහත් කැපවීම නිසා වීම විශේෂත්වකි. දියණියන් සිව් දෙනෙකුගේ මවක වූ නීලම්මා සිය සැමියා ද නොමැතිව මැදවච්චියේ අතිදුෂ්කර ජීවිතයක් ගත කළ කාන්තාවකි. අගහිඟකම් නිසා ජීවන ගමන දුෂ්කර වූ බැවින් ඇය 1996 වසරේදී ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවිකාවක ලෙස ජෝර්දානයට පිටත්ව යන්නේ,සිය දියණියන් සිව් දෙනා සිය සහෝදරයාගේ රැකවරණයට යොමු කරමිනි. එහෙත් බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඇයගේ රට ගමන සුබ නොවන අතර ඇය සේවය කළ නිවසේ නිවැසියන්ගේ තාඩන පීඩනවලට මෙන්ම පහරදීම්වලට ද ලක් වන්නට ඇයට සිදුවූවා ය. තාඩන පීඩන ඉවසා ගත නොහැකි වූ අවස්ථා කිහිපයකදී ඇය සේවය කළ නිවසින් පැන ගොස් ජෝර්දාන තානාපති කාර්යාලයේ රැකවරණය ද පතා තිබේ. කෙසේ වෙතත් ඇයට අවසානයේ යළි එම නිවසටම යාමට සිදු වන අතර 2009 වසරේ සිට ඇයට සිය දරුවන් කටහඬ ඇසීමට දුරකතන ඇමතුමක් හෝ ලබා ගැනීමට අවසර නොදෙන අතර ඇය සේවය සඳහා ගිය නිවසේ සිරකාරියක බවට පත්වන්නී ය. සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති තැන ඇයගේ තරුණ දියණියන් මව පිළිබඳ තොරතුරක් සොයා දෙන මෙන් වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටි මුත් කිසිදු ස්ථානයකින් ඔවුන්ට ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වේ. සිය මව පිළිබඳ තොරතුරක් සොයා දෙන මෙන් වගකිව යුතු ආයතන වෙත යන දියණියන්ට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ‍අදාළ නිලධාරියා හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන්නේ, මේ අතරතුර කාලයේදීයි. පසුව විදෙස් ශ්‍රමිකයින් පිළිබඳ සොයා බැලීම සඳහා මැදපෙරදිග රටවල නිරීක්ෂණ චාරිකාවක් සඳහා පිටත්ව යාමට අදාළ නිලධාරියාට අවස්ථාව හිමිවන අතර මෙහිදී ඩුබායිහි සංචාරය සඳහා ඔහුට අවස්ථාව හිමිවුව ද එරට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරමින් ජෝර්දානයේ සංචාරය සඳහා අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නේ, නීලම්මා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමේ අපේක්ෂාව පෙරදැරිවයි. ඒ අනුව තවත් නිලධාරීන් දෙදෙනෙකු ද සමග අදාළ නිලධාරියා 2018 වසරේදී ජෝර්දානයේ නිල සංචාරය සිදු කරන අතර ඔහු එහිදී එරට සිටින වගකිවයුතු නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් නීලම්මා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය අසාර්ථක විය. මෙතැන් සිට රාජකාරිය ඉටු කිරීමෙන් එහා ගොස් දරුවන් සිව් දෙනෙකුට සිය මව සොයා දීමේ කටයුත්තකට උර දෙන අදාළ රාජ්‍ය නිලධාරියා සංචාරය නිමවා මෙරටට පැමිණීමෙන් පසුව ද ජෝර්දානයේ තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම සංචාරය අතරතුරදී ගොඩ ගනා ගත් සබඳතා මත තවදුරටත් නීලම්මා සෙවීමේ කටයුත්තේ නිරත විය. ඒ අනුව ඇය සේවය සඳහා පිටත්ව ගිය නිවස පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකි වන අතර ඒ අනුව 2019 සැප්තැම්බර් 25 වනදා රට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමෙන් පසු අදාළ නිවසේ සේවය සඳහා ගෘහ සේවිකාවක අවශ්‍ය දැයි විමසමින් අදාළ නිලධාරීන් එම නිවසට යන්නේ, ගෘහ සේවිකාවන් සපයන පිරිසක් ලෙසිනි. මෙහිදී සිය නිවසට සේවිකාවක අවශ්‍ය නොවන බවත් නිවසේ සේවය සඳහා කාන්තාවක සිටින බව ගෙහිමියන් පවසා ඇති අතර එහිදී අදාළ ආරක්ෂක නිලධාරීන් තමන් ආරක්ෂක අංශයෙන් බව පවසමින් නිවසට ඇතුළු වී අදාළ කාන්තාව සිය භාරයට ගෙන තිබේ. ඒ වන විටත් පහරදීම්වලට ලක්ව දැඩි කම්පනයට පත්ව සිටි නීලම්මා වසර ගණනාවකට පසු වීඩියෝ ඇමතුමක් මගින් මෙරට සිටින සිය දරුවන් සමග කතා කිරීමට අදාළ නිලධාරීන් අවස්ථාව සලසා දී තිබේ. ගෘහ සේවය සඳහා ගොස් වසර ගණනාවක් ජෝර්දානයේ සිරකාරියක බවට පත්ව සිටි නිල අම්මා අද අලුයම දිවයිනට පැමිණෙන විට සිය දරුවන් භාරදී ගොස් සිටි සිය සහෝදරයා ද මෙලොව හැර ගොස් ඇත. රාජකාරියට එහා ගොස් සිය මෙහෙවර ඉටු කළ රාජ්‍ය නිලධාරියා නොවන්නට, වසර ගණනාවක් තිස්සේ කිසිදු තොරතුරු නොමැතිව සිටි දරුවන්ට යළි සිය මව දකින්නට ලැබීම සිහිනයක් වන්නට ඉඩ තිබිණ. https://www.youtube.com/watch?v=5r6-weC3P-g