සය පුද්ගල කමිටුවේ නිර්දේශ ජනපති ලේකම් වෙත

රාජ්‍ය ආයතන 40 ක සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළ නිර්දේශ ජනපති ලේකම් වෙත

by Staff writer 12-12-2019 | 12:18 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන 40 ක පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

ඒ, රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව විසිනි. සය පුද්ගල කමිටු සාමාජික නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බවයි. ඒ අනුව ඉදිරි සතිය වන විට ආයතන රැසකට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේ ය. එකම විෂය පථයන් සඳහා පිහිටුවා ඇති ආයතන ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ද කමිටුව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ව්‍යවසායවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි, ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා පසුගිය දා අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය. ඒ, අදාළ ආයතනවලට ප්‍රවීණයින් පත් කරන්නැයි ජනාධිපතිතුමා කරන ලද නියමයට අනුවයි.