තිරිඟු පිටි ආනයන බදු පහත දැමීමට කැබිනට් අනුමැතිය

by Staff writer 12-12-2019 | 12:20 PM

COLOMBO (News 1st) - තිරිඟු පිටි ආනයනය බදු පහත හෙළීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, උත්සව සමයේදී තිරිඟු පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ පහසුකම ජනතාවට ලබාදෙමිනි. ඒ අනුව මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා එලෙස සහන පැනවෙනු ඇති. 2018 සහ 2019 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ ගත් වී තොග, සහල් කර ලංකා සතොස වෙළෙඳ ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය. කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ, ඉදිරි මාස කිහිපය තුළ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට සැපයීමටයි. සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98.00 ක් ලෙස පවත්වාගෙන යාමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. මේ අතර ඉසෙඩ්කෝ ක්‍රමවේදය අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා දැනට භාවිත කරන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.