පුරවැසිභාවය පිළිබඳ පනත අභියෝගයට

ඉන්දියාවේ පුරවැසිභාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සූදානමක්

by Staff writer 12-12-2019 | 9:34 AM

News 1st - ඉන්දියාවේ පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට එරට විපක්ෂ දේශපාලනඥයින් සූදානම් වෙති.

අදාළ පනත් කෙටුම්පත ඊයේ රාත්‍රියේ එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවේදී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 125 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 105 කි. එම පනත සම්මතවීමත් සමග ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක පැවැත්වෙන උද්ඝෝෂණ උත්සන්න වී ඇත්තේ ප්‍රචණ්ඩ මුහුණුවරක් ද සහිතවයි. ඒ හේතුවෙන් ගුවාටි නගරයට සහ දිබ්රුගාර් දිස්ත්‍රික්කයට පැන වූ ඇදිරි නීතිය තවදුරටත් බලාත්මක වේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල සේවා ද අවහිර කර තිබේ. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් තීව්‍රවීමත් සමග විරෝධතා විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදී රබර් උණ්ඩ ප්‍රහාර මෙන්ම ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇත. ඇසෑම් ප්‍රාන්තයේ, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල සියලු කටයුතු ඇණහිට ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතුවලට ද බාධා මතුව ඇත. කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එම නව පනත ඊසානදිග ඉන්දියාවට වාර්ගික වශයෙන් මධ්‍යම රජය එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරයක් බවයි. එහෙත් එය ඉන්දීය ඉතිහාසයේ සහෝදරත්වය පිළිබඳ සංධිස්ථානයක් බව පනත සම්මතවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් තබමින් පැවසුවේ ය. නව පනත යටතේ පකිස්ථාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණිනි.