වසර 10 කට පසු පකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක්

ලාහෝර් ප්‍රහාරයෙන් වසර 10 කට පසු පකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් අද ඇර⁣⁣ඹේ

by Staff writer 11-12-2019 | 7:37 AM

COLOMBO (News 1st) - 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත ඉතිහාසගත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද රාවල්පින්ඩිහිදී ආරම්භවීමට නියමිතයි. 1982 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 53 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 19 ක ජය පකිස්ථානු කණ්ඩායම හිමි කරගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 16ක් පමණයි. ඉන් තවත් තරග 18 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. අවසන් වරට 2017 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත් වූ ටෙස්ට් තරගාවලිය ද තරග 2ට 0ක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි. මෙවර මෙම තරගාවලියට ක්‍රීඩා කරන දෙපිලේම සංචිත තුළ සිටින ක්‍රීඩකයින් රැසක් පකිස්ථානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැතිවීම විශේෂත්වයකි. අද තරගය පැවැත්වෙන රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 15 කට පසුවයි. ප්‍රේක්ෂකයින් 28,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ පසුගිය 2004 අප්‍රේල් මස 16 වැනි දා අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්විය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග සංචාරයට එක්වන්නේ මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේයි. මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවීමට පෙර පකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.