දශකයකට පසු පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ටෙස්ට්

දශකයකට පසු පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ටෙස්ට් තරග අත්දැකීමක්

by Staff writer 11-12-2019 | 6:38 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පාකිස්ථානයේ රාවල්පින්ඩිහීදී ආරම්භ විය. පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර දහයකට පසුව වීම විශේෂත්වයකි. තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් රැස් කර ගෙන සිටියේ ය. නායක දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 96 කි. ටෙස්ට් පිටියේ 24 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 59 කට දැවී ගියේ ය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 ක් රැස් කළේ ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල්ට අද රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 2 ක් පමණි. අද දිනය සඳහා තරගය නරත කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා ලකුණු 38 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 11 ක් රැස් කර ගෙන සිටියහ. නසීම් ෂා ලකුණු 51 ට කඩුලු 2 ක් බිඳ හෙළී ය.