පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක කෙටුම්පත සම්මතයි

Update : පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මතයි

by Staff writer 11-12-2019 | 7:19 PM
COLOMBO (News 1st) : පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක,සංශෝධිත පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාකට පෙර වැඩි ඡන්ද 105 කින් සම්මත විය . ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117 කි. පනත් කෙටුම්පතට විරුද්ධව 92 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබිණ. පුරවැසිභාවය පිළිබද සංශෝධිත පනත් කෙටුම්පත එලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවක් ක්‍රියාත්මක වන පසුබිමකදීයි. නව පනත යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණිනි. .............................................................................................................................................................................................. COLOMBO (News1st) : ඉන්දීය පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, ඊට එරෙහිව පවතින දැඩි ජනතා විරෝධය මධ්‍යයේයි. විරෝධය හේතුවෙන් මේ වනවිට ගුවාති නගරයට ඇඳිරි නීතියද පනවා තිබේ. පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතට පසුගිය දා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ සහ ලොක් සභා අනුමැතිය හිමිවිය. මේ යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණිනි. ටයර් පුළුස්සමින් මෙන්ම පොදු දේපළවලට හානි කරමින් අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශවල දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වේ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදී පොලීසීය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද, මෙතෙක් විරෝධතා අවසන්ව නොමැත. මේ හේතුවෙන් ත්‍රීපුරා, ඇසෑම්, මිසෝරාම් ඇතුළු ප්‍රදේශ රැසක දෛනික කටයුතු අඩාලවී තිබේ. පැය 48 ක කාලයක් සඳහා එම ප්‍රදේශවල එස් එම් එස් පණිවුඩ සේවාව මෙන් ම අන්තර්ජාල සබඳතා ද අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය. ඊට අමතරව පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම අධ්‍යාපන ආයතනවල හෙට පැවැත්වීමට නියමිත විභාග දින නියමයක් නොමැතිව කල් දැමිණ. ඇසෑම් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සර්බනන්දා සොනෝවල්, ගුවාහතී ගුවන් තොටුපළේ සිරවී ඇත්තේ ඒ අවට පවතින විරෝධතා හේතුවෙනි. ආරක්ෂක අංශ සාමාජිකයින් 5000 කට අධික පිරිසක් තත්ත්වය පාලනය කිරීමට යොදවා තිබේ.