MCC ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් නැහැ - අමෙරිකානු තානාපති කාර්යාලය

by Staff writer 10-12-2019 | 7:24 PM

COLOMBO (News 1st) - එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නිව්ස්ෆස්ට් ඊමේල් මගින් කළ විමසීමකට තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, එය දැන් ශ්‍රී ලංකා රජය සතු කරුණක් බවයි. ඉඩම් හිමිකම් සම්බන්ධ ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම සහ පොදු ගමනාගමන පහසුකම් නවීකරණය කිරීම සඳහා අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබාදීමට යෝජනා වූයේ පසුගිය රජය සමයේයි. වත්මන් ආණ්ඩු පක්ෂය එවක විපක්ෂය මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී එය ප්‍රධාන මාතෘකාවක් බවට ද පත්කර ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ උපවාසය නතර කරන්නැයි ඉල්ලා යැවූ ලිපියෙන් සහතික වුනේ වත්මන් රජය අත්සන් කළ සියලු ගිවිසුම් නැවත සලකා බලන බවටයි. ඒ අනුව මෙම ගිවිසුම් යළි සලකා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ය. අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ගිවිසුම් කෙටුම්පත අධ්‍යයනය කිරීමට රජයට කාලයක් අවශ්‍ය බව එම්.සී.සී ආයතනයට වැටහෙන බවයි. ගිවිසුම ගැන රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමට හැකියාව ඇති බවත් තානාපති කාර්යාලය අප කළ විමසීමේදී සඳහන් කළේ ය. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් මේ ගිවිසුම සම්බන්ධයෙන් දැරුවේ දැඩි ස්ථාවරයකි. කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර දැරූ දැඩි ස්ථාරවරයන් ඇතැම් පාර්ශව දැන් වෙනස්කර ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.