ස්විස් කාර්යාලයේ නිලධාරිනිය අදත් CID වෙත

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අදත් CID වෙත

by Staff writer 10-12-2019 | 7:22 AM

COLOMBO ( News 1st ) - කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඇය අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ද යළි ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ දෙවන දිනටත් පැය 6ක කාලයක් ඇය ප්‍රකාශයක් ලබා දුන්නා ය. ඊයේ පස්වරු 1ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නැවත ඉදිරිපත් කෙරුණි. ඉන් අනතුරුව සවස 4 පමණ සිට රාත්‍රී 10 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී එම නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ අතර පෙරේදා පස්වරු 5.30 සිට පසුදා අලුයම 2.30 දක්වා පැය 9 ක කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ ය. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, මෙම නිලධාරිනියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි. ඇයට ලිංගික අපයෝජනයක් හෝ පහරදීමක් සිදුව ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කළාය. මීට අමතරව ඇයගේ මානසික පීඩනය සම්බන්ධයෙන් ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි.