පොලිස් පරීක්ෂක නිශාන්ත ගැන තවත් තොරතුරු සොයයි

විදෙස්ගත වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ගැන ආගමන විගමනයෙන් තොරතුරු ගැනීමට පියවර

by Staff writer 10-12-2019 | 11:50 AM

COLOMBO ( News 1st ) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විදේශ ගතවීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරුණු සටහන් කරගැනීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සිදුවන දීර්ඝ විමර්ශනවලට අදාළව එම තොරතුරු ලබා ගන්නා බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ ය. ඒ අතරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාද ඇතුළත් ය. ඒ, අනුව ශානි අබේසේකර මහතාගෙන් පසුගිය සිකුරාදා පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ, නිශාන්ත සිල්වා මහතා දින 2ක නිවාඩුවක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාගේ අනුමැතියෙන් පසු එය එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුමැතිය සඳහා යොමු විය යුතුව තිබුණද, ඊට අනුමැතියක් ලැබීමට පෙර නිශාන්ත සිල්වා මහතා රටින් පිටව ගොස් ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ ය.