by Staff writer 09-12-2019 | 12:24 PM
COLOMBO ( News 1st ) - කොළඹදී පැහැරගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දුන්නේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයේ සවස 5.30 සිට අද අලුයම 2.30 දක්වා ඇයගෙන් එම ප්‍රකාශ ලබාගත් බවයි.
විමර්ශන සඳහා ඇයගෙන් නැවත ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, මෙම නිලධාරිනියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි.
ඇයට ලිංගික අපයෝජනයක් හෝ පහරදීමක් සිදුව ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කළා ය.
මීට අමතරව ඇයගේ මානසික පීඩනය සම්බන්ධයෙන් ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරුණි.
මෙම කාන්තාව ඊයේ දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශය ලබාගැනීමට පෙර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එහෙත් එම අවස්ථාවේදී වෛද්‍යවරියක් නොමැතිවීම හේතුවෙන් මේ සඳහා පෙනී සිටීම එම තානාපති කාර්යාල නිලධාරිනිය ප්‍රතික්ෂේප කර ඇතැයි අධිකරණය හමුවේ අනාවරණ විය.
වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ ලබාගැනීමට අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස එම නිලධාරිනියට දන්වා තිබේ.
ඒ, අනුව අද දිනයේ නැවතත් ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.
මේ අතර එම කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ තම සේවාදායක ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් දැඩි මානසික පීඩනයෙන් සිටින බවට දේශීය හා විදේශීය වෛද්‍යවරුන් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.
මෙම සිද්ධියෙන් අගතියට පත්ව ඇත්තේ, තම සේවාදායක ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් බව ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
ඔහු පැවසුවේ එහෙත් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වන්නේ අගතියට පත් කාන්තාවට එරෙහිව බවයි.
මෙම නිලධාරිනිගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද පනවා ඇති බැවින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.