දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වර්ෂාපතනයක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ක පමණ තද වර්ෂාපතනයක්

by Staff writer 09-12-2019 | 8:59 AM

COLOMBO ( News 1st ) - අම්පාර, මඩකලපුව, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ ත්‍රීකුණාමලය, අනුරාධ‍පුරය, පොලොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 150,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවාස 1131කට අර්ධ හානිවී ඇති අතර පුර්ණ වශයෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 27 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් අඛණ්ඩව සහන ක්‍රියාත්මක බවයි. මේ අතර බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලට යළි නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ ය.