ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව ඇන්තනි ජොෂුවාට

ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් ඇන්තනි ජොෂුවා හිමි කර ගනී

by Staff writer 08-12-2019 | 11:55 AM

News 1st - ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් හිමිකර ගැනීමට බ්‍රිතාන්‍යයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා සමත් විය.

ඒ, ඩුබායිහි රියාද් නුවරදී පැවැති තරගයකදී මෙක්සිකොවේ ඇන්ඩි රුවිස්ව පරාජය කරමිනි. බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස වර්තමානයේ සැලකෙන්නේ, ලෝක ශූර බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවායි. කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදීය ඔහු සිය බොක්සිං දිවියේ පළමු පරාජය අත්වින්දේ මෙක්සිකෝවේ ඇන්ඩි රුවිස් හමුවෙයි. ලෝක හෙවිවේට් බොක්සිං බඳ පටිය වෙනුවෙන් නිව්යෝර්ක්හි මැඩිසන් ස්ක්වෙයාර් ගාඩ්ර්ඩ්න්හිදී පැවැති එම තරගයේදී කිසිවෙකුත් නොසිතු අයුරින් ජොෂුවා පරාජයට පත්වූවේ ලෝක හෙවිවේට් බොක්සිං බඳ පටිය මෙක්සිකෝවේ ඇන්ඩි රුවිස්ට හිමිකර දෙමිනි. කෙසේ වෙතත් එදා තමා යළි අනාගතයේදී හෙවිවේට් ශූරතාව හිමිකර ගන්නා බව පැවසූ ජොෂුවා අද යළි ත් මෙක්සිකෝවේ ඇන්ඩි රුවිස් සමග තරගයට පිවිසියේ ඩුබායිහි රියාද් නුවරදීයි. සියල්ලන්ගේම අවධානය මධ්‍යයේ තරගය ආරම්භ වූ අතර තරගයේ ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරකින් පැවතිනි. තරග වට 12 ක් පුරා ඇදී ගිය තරගය තරග තීරකවරුන් තිදෙනාගේම වැඩිම ලකුණු අනුව අවසන් වූයේ ඇන්තනි ජොෂුවාට නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව හිමිකර දෙමිනි. තරග තීරකවරුන් ලෙස කටයුතු කළ ග්ලෙඩ් ෆ්ලෙඩ්මන් හා බෙනොයිට් රසෙල් ලකුණු 118 ට 110 ක් ලෙස ජොෂුවා තරගය ජය ගත් බවත් ස්ටීව් ග්‍රේ තරග තීරකවරයා ලකුණු 119 ට 110 ක් වශයෙන් ජොෂුවා තරගය ජය ගත් බවත් නිවේදනය කළේ ය. ඒ අනුව සියලු තරග තීරකරුවන්ගේ සාමූහික තීරනයට අනුව තරගයේ ජය හිමිවුනේ ජොෂුවාටයි. ඒ අනුව අන්තර් ජාතික බොක්සිං සම්මේලනය හෙවත් අයි.බී.එෆ්, ලෝක බොක්සිං සංවිධානය හෙවත් ඩබ්ලිව්.බී.ඕ ලෝක බොක්සිං සංගමය හෙවත් ඩබ්ලිව්.බී.ඒ යන අංශ තුනේම හෙවිවේට් බඳ පටි යළි දිනා ගැනීමට ඇන්තනි ජොෂුවා සමත් විණි.