by Staff writer 07-12-2019 | 9:45 PM
COLOMBO (News1st) : ස්වභාවික ආපදා හඳුනා ගැනීම, ඒවාට මුහුණ දීම හා කළමනාකරණය සම්බන්ධයෙන් මේ දිනවල යොමුව ඇත්තේ විශේෂ අවධානයකි.
ස්වභාවික ආපදා කළමනාකරණය සම්බන්ධ තොරතුරු රැසක් අලුතින්ම නිකුත් වූ විගණකාධිපති වාර්තාවක දැක්වේ.
ලොව ස්වභාවික ආපදාවලට මුහුණපාන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 6 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාවට වඩා ආපදා අවදානම් රටවල් වන්නේ පිළිවෙලින් ජපානය,පිලිපීනය,ජර්මනිය මැඩගස්කරය සහ ඉන්දියාවයි.
ඒ, ලෝකයේ ස්වභාවික ආපදා පිළිබඳව අධ්‍යයන සිදු කරන ජර්මන් වොච් සංවිධානයේ 2019- 2020 වර්ගීකරණයට අනුවයි.
මෙවැනි අවදානම් මට්ටමක සිටින බැවින්, ස්වභාවික ආපදා කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
නමුත් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය නීතිමය ආවරණය ලැබෙන ස්වභාවික ව්‍යසන කළමනාකරණ පනත් සංශෝධන මෙතෙක් සම්පූර්ණ කර නොමැත.
එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිසි ව්‍යවස්ථාපිත ආයතනයක් නොවන පසුබිමක එම අයතනය නිකුත් කරන වාර්තාවලට නීතිමය වටිනාකමක් නොමැති බැවින්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ගැටලු පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේනතුව පෙන්වා දෙයි.
මෙරට සිදු විය හැකි ව්‍යසන 21 ක් ව්‍යසන කළමණාකරන පනත යටතේ හඳුනාගෙන ඇතත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, සාගර ජල මට්ටම ඉහල යාම ව්‍යසන ලෙස හඳුනාගෙන නොමැත.
පසුගිය වසර තුළ ආපදා අවදානම අවම කිරීමේදී අවධානය යොමුව ඇත්තේ ගංවතුර, නායයාම් හා නියගය සඳහා පමණක් බව ද මෙම වාර්තාවේ සඳහන් ය.
එමෙන්ම 2018 - 2030 කාලය සදහා වූ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සැකසීම 2017 දී ආරම්භ කර තිබුණත් ඉකුත් වසර නිම වන විටත් එය අවසන් කර නෙමැත.
මේ හේතුවෙන් ආපදා කළමනාකරණ සැලැස්මට සමගාමීව පිළියල කළ යුතු ආපදා කළමනාකරණ සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.
2017 වසර තුළ සිදු වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් අධි අවධානම් කලාපවල ජීවත්වන බව හඳුනාගත් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1444න් 167ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 312 න් 151 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම 2019 වනවිටත් සම්පූර්ණ කර නොතිබිණ.
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 328 ක් අධි අවදානම් කලාපවල සිටින බව 2017 දී හඳුනාගත් අතර එයින් පවුල් 125 ක් කිසිදු නිවාස පහසුකමක් නොමැතිව අධිඅවදානම් කලාපවලම ජීවත්වන බව විගණකාධිපති වාර්තාවේ සඳහන් ය.
ගංවතුර පමණක් නොව නියඟ හේතුවෙන් සිදුවන ආපදා සහන සැලසීමද නිසිලෙස සිදුව නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
2018 වසර තුළ පමණක් දිස්ත්‍රික්ක 14 ක නියඟයෙන් පීඩාවට පත්වූ 451,224 දෙනෙකු ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන තිබූ අතර ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 700ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත 2018 සැප්තැම්බර් 25 වැනිදා ප්‍රේරණය කර තිබිණ.
එහෙත් ඊට දින 15 කට පසු එම මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ආපසු ලබාගෙන තිබිණ.
හෙළිවන තවත් කනගාටුදායක කරුණත් වන්නේ හදිසි ආපදාවලින් විපතට පත්වන ජනතාවට සහන සැළසීමට අමාත්‍යංශය විසින් පවත්වාගෙන යන ගිණුමේ දේශීය හා විදේශීය පරිත්‍යාග ශීලීන්ගෙන් ලැබී තිබූ රුපියල් මිලියන 294.43ක්, 2018 වසරේ අගොස්තු 06 වැනි දින වනවිටත් භාවිත කර නොතිබූ බවයි.
එම අරමුදලට චීන මහජන සමූහාණ්ඩුවෙන් ලැබී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 100ක්ද භාවිත කර නොතිබූ අතර අරමුදලට දායකත්වය සැපයූ පරිත්‍යාගශීලීන්ගේ අරමුණු ඉටුව නොමැති බව විගණකාධිපතිවරයා පවසයි.
2018 වසරේදී ආපදා අවම කිරීමේ ව්‍යාපෘති 278 ක් ක්‍රියාත්මක කිරීමට වෙන් කළ රුපියල් මිලියන 480කට අදාළ සැළසුම් නොතිබූ බව ද මෙම විගණකාධිපති වාර්තාවේ සඳහන් ය.
2018 වසරට ව්‍යාපෘති 278 ක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 474.43ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදී තිබුණත් එම වසර තුළ භාවිත කර ඇත්තේ රුපියල් මිලියන 361.49ක් පමණි.
විගණකාධිපතිවාර්තාවෙන් තවත් වැදගත් කරුණක් අනාවරණය කර තිබේ.
ඒ, 2006 වසරේ අයවැය යෝජනාවක් අනුව ලබාගත් රුපියල් මිලියන 320ක වටිනාකමින් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය පිළිබඳවයි.
2017 දී එය නැවතත් අලුත්වැඩියා කටයුතු සඳහා ඇමරිකාවේ පිහිටි නිෂ්පාදනායතනයට යවා තිබුණත් එහි ප්‍රගතිය පිළීබඳව සටහන් නොවීම හා 2018 අවසන් වනවිට ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමට වැයකර තිබූ මුළු මුදල වන රුපියල් මිලියන 408.82ක මුදල ලේඛන වලින් සැඟවීමේ අවදානමක් ඇති බවද මෙහි සඳහන් ය.
මෙවැනි සිදුවීම් රටට හෙළි කර දීම සඳහා විගණකාධිපතිවරයා තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බව ජනතා විශ්වාසයයි.
https://www.facebook.com/NewsfirstSL/videos/935525843514843/