සාග් මලල ක්‍රීඩාවලින් ශ්‍රීලංකාවට රන් පදක්කම් 15ක්

වසර 28 කට පසු සාග් මලල ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක්

by Staff writer 07-12-2019 | 8:58 PM
COLOMBO (News1st) : ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී අද රන් පදක්කම් 6 ක් දිනා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා සිටින අතර 1991 න් පසු ඔවුන් එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි. ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයකින් සුබ පතා තිබේ. 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද පස්වැනි දිනටත් නේපාලයේදී පැවැත්විණ. හිරුණි විජේරත්න කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, පැය 2 යි මිනිත්තු 41 යි තත්පර 24 කිනි. ඉඳුනිල් හේරත්, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ඔහු දැක්වූ දක්ෂතාව මිනිත්තුවයි තත්පර 50 . 52 කි. ඩිල්ෂි කුමාරසිංහ මෙවර දෙවැනි රන් පදක්කම දිනා ගත්තේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙනි. ඇය එහිදී මිනිත්තු 2 යි තත්පර 6 .18 කින් තරගය අවසන් කළේ ය. රිදී පදක්කම ගයන්තිකා අබේරත්නට හිමිවිය. නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර නදීකා ලක්මාලි රිදී පදක්කම දිනාගත්හ. මීටර 400 පිරිමි සහ කාන්තා සහය ධාවන ඉසව් දෙකේම රන් පදක්කම් ශ්‍රී ලංකාව දිනා ගත්තේ ය. අරුණ දර්ශන, රජිත රාජකරුණා, සෙනිරු ගුණරත්න සහ ලක්මාල් ප්‍රියන්ත පිරිමි කණ්ඩායමට එක්ව සිටි අතර, ඔමායා උදයංගනී, කෞශල්‍යා මදුශානි, ඩිල්ෂි කුමාරසිංහ සහ ගයන්තිකා අබේරත්න කාන්තා කණ්ඩායමට එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/833550453748924/