මහ වැස්සෙන් 235,000කට අධික පිරිසක් පීඩා

මහ වැස්සෙන් 235,000කට අධික පිරිසක් පීඩා

by Staff writer 07-12-2019 | 8:02 AM

COLOMBO ( News 1st ) - දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පවුල් 78,000කට අධික සංඛ්‍යාවක, පුද්ගලයින් 235,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි. මේ අතර ඉරණමඩු ජලාශයේ සියලු වාං දොරටු අද විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ පිළිබඳව විමසිලිමත්වන්නැයි ජලාශය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි. බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළේ, දිවයිනේ නිරත දිග කොටසේ අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.