මඩකලපුව, අම්පාර සහ ඌවට අද රාත්‍රීයේ තද වැසි

මඩකලපුව, අම්පාර සහ ඌවට අද රාත්‍රීයේ තද වැසි

by Staff writer 07-12-2019 | 6:58 PM
COLOMBO (News 1st) : මඩකලපුව, අම්පාර සහ ඌව පළාතේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රීයේ මිලිමීටර් 75 ත් 100 ත් අතර, තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය ලබන 09 සහ 10 යන දිනවල යළිත් වැඩිවිය හැකි බවයි. අද රාත්‍රීයේ සබරගමු පළාතෙත්, ගාල්ල මාතර හා කළුතර දිස්‍ත්‍රික්ක වලත්, මිලිමිටර් 50 ත් 75 ත් අතර, තරමක් තද වැසි ඇති විය හැකි බව ද, කාලගුණ අනාවැකියේ සඳහන් ය. වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර, දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාවෙන් පුද්ගලයින් එක්ලක්ෂ හැට තුන්දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඔවුන්ට සහන සැලසීම අඛණ්ඩව සිදුකරන බවයි. අධික වැසි හේතුවෙන්, ජලාශ 30 කට අධික සංඛ්‍යාවක් තවදුරටත් වාන් දමන අතර, ඒ පිළිබඳව ජලාශ පහළ සිටින ජනතාව අවධානයෙන් සිටින්නැයි, ප්‍රදීප් කොඩිප්පලි මහතා පැවසී ය. මේ අතර, පවතින වැසි සමඟ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්ක වලට නායයාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා පවසයි.