කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ තැනට ම

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ තැනට ම

by Staff writer 07-12-2019 | 6:54 PM
COLOMBO (News1st) : කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ ස්ථානයට රැගෙන යාම සඳහා පියවර ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න මහතා සඳහන් කළේ, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව, මීට පෙර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යෑමට නියමිතව ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා සඳහන් කළේ, දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට අධික කුලී වියදමක් දැරීමට සිදුවීම මෙන්ම කරුණු කිහිපයක් මත මෙම පියවර ගන්නා බවයි. රාජගිරියේ පිහිටි කෘෂිකර්ම ගොඩනැගිල්ල සම්බන්ධයෙන්, වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු විමර්ශනයට ලක් වූ අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් පැවසුවේ, රාජගිරියේ ගොඩනැගිල්ලට රජය කළ මුළු වියදම රුපියල් බිලියන දෙකකට අධික බවයි. ඉන්, බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පිළිගත්තේ ය. ගොඩනැගිල්ල වෙනුවෙන් බදු ගිවිසුම් අත්සන් කර ඇත්තේ වසර පහක් සඳහායි.