බිඩී කොළ ප්‍රවාහනය කළ 9ක් නාවික හමුදා අත්අඩංගුවට

කල්පිටියෙදී බිඩී කොළ ප්‍රවාහනය කළ 9දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

by Staff writer 07-12-2019 | 4:37 PM
COLOMBO (News 1st): කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරයේදී නීතිවි‍රෝධි ලෙස බිඩී කොළ ප්‍රවාහනය කළ සැකකරුවන් නව දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබු බීඩි කොළ කිලෝ 818 ක් සිය භාරයට ගත් බවයි. ඊයේ කළ මෙහෙයුමකදී සැකකරුවන්, බිඩී කොළ තොගය සහ ඔවුන් පැමිණි ලොරි රථ 02 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 23 ත් 60 ත් අතර වියෙහි පසුවන පුත්තලම, නාඋල, මාතලේ, කල්පිටිය, තලවිල සහ ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන්, බිඩී කොළ තොගය සහ ලොරි රථ 02 ක, කැබ් රථය මෙන්ම වෑන් රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දී තිබේ. මේ අතර, තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 123 සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. නාවික හමුදාව පැවසුවේ, සොයා ගන්නා ලද එම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දුන් බවයි.