ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙළක්

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 06-12-2019 | 7:48 AM
COLOMBO (News 1st) : ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. නිව්ස් ෆස්ට් කළ විමසුමකදී පොලීසිය සඳහන් කළේ, පසුගිය වසරවලට වඩා මේ වසරේදී ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව නල්ලතන්නියේ සිට ශ්‍රී පාදස්ථාන උඩමළුව7 දක්වා විශේෂ ජංගම පොලිස් ආරක්ෂක මුර කුටි ස්ථාපනය කරනු ඇති. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන 11 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වේ. මේ අතර , ශ්‍රී පාදස්ථානය පූජා භූමියක් බවට පත් කිරිමේ සන්නස් පත්‍රය භාර දීම , පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ දි ඊයේ සිදු කෙරිණ. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී පාදස්ථානය පූජා භූමියක් ලෙස ගැසට් කළ අතර එයට අදාළ සන්නස් පත්‍රය පිරිනැමුණේ ශ්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වෙතයි. ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර ද ජාතික උරුමයක් බවට පත් කර තිබේ. ඊට අදාළ නිල සන්නස් පත්‍රය හිටපු ජනාධිපතවරයා සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා වෙත ඊයේ භාර දුන්නේ ය.