විපක්ෂ නායක ධුරය පිටුපස කුමන්ත්‍රණයක් ද?

විපක්ෂ නායක ධූරය ප්‍රකාශ කිරීමට කතානායකවරයා කල් ගැනීම තවත් කුමන්ත්‍රණයක් ද ?

by Staff writer 06-12-2019 | 8:07 PM

COLOMBO (News 1st): සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තවත් කල්මැරීමේ උපක්‍රමයක්දැයි සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රශ්න කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පිළිගත් බව නිල වශයෙන් නිවේදනය කිරීමට කතානායකාවරයා ජනවාරි 3 වනදා පස්වරුව දක්වා කල් ගැනීමෙන් මේ සැකය මතුවන බව ය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතු බව යෝජනා කර තිබුණේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. වික්‍රමසිංහ මහතාගේ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව පසුව නිවේදනය කළ අතර එම අවස්ථාවේම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා එම තීරණය කතානායකවරයාට දැනුම් දුන්නේය. කතානායකවරයා ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ ලිපිය අනුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගත් බව ය. නමුත් ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයා රාජාසන කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව පස්වරු 1.00ට යළි රැස්වී විපක්ෂ නායක ධුරය නිල වශයෙන් නිවේදනය කරනු ඇතැයි කතානායකවරයා එම නිවේදනයේ සඳහන් කර තිබුණි. ජනවාරි 03 වැනිදා රාජාසන කතාව සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ උදෑසන 10.00 ටයි. සවස 1.00 ට පාර්ලිමේන්තුව නැවත රැස්වීම සම්බන්ධයෙන් කතානායකවරයා, අගමැතිවරයා සහ දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාවක් ඇති වී ඇති බව කතානායකවරයා ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබුණි. සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ එසේ වුවත් රාජාසන කතාවෙන් පසුව අවශ්‍යනම් පාර්ලිමේන්තු රැස්වීම වෙනත් දිනයකට කල්තැබිය හැකි බව ය. එසේ කල්තැබුවහොත් කතානායකවරයා පවසන ආකාරයට විපක්ෂ නායක ධුරය පිළිබඳව නිවේදනය කිරීම තවත් කල් දැමීමට සිදුවනු ඇති. මේ අතර, දෙසැම්බර් 12 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබේ. ඒ, අභියාචනාධිකරණයේ පුරප්පාඩු විනිසුරු ධුරයකට පත්කිරීමක් සම්බන්ධයෙන් සළකා බැලීම සඳහායි. විපක්ෂ නායකවරයා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වන සාමාජිකයෙකි. අද පස්වරුව වන විටත් 12 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථා සභා රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට කැඳවීමක් ලැබී තිබුනේ නැහැ . එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා
බහුතර කැමැත්තකින් හා ඒකමතිකභාවයකින් යුත්තව මේ තීන්දු ගත්තට පස්සේ තවත් කවුරුත් සම්ප්‍රදායන් ගැන කතාකරමින් කල් දැමීම මං කියන්නේ එතුමාට තියෙන ව්‍යවස්ථාපිත වගකීම බැහැර කරන්න උත්සාහ නොකළ යුතුයි. මොකද ව්‍යවස්ථාපිත වගකීම තමයි ඊළඟට එතුමට එළඹෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකත්වය හිමිවීම එතකොට ව්‍යවස්ථාදායක සභා‍වේ සමාජිකත්වය නිල වශයෙන් හිමිවන තනතුරක්. ඒ වගකීමක්. ඒ වගකීම බැහැර කරමින් එතුමා තාමාත් සම්ප්‍රාදායික ලෙස නැත්නම් පාර්ලිමේන්තුවේ නිවේදනය නොකලාය කියලා සලකලා එතුමා කැදවීමක් කරන්නේ නැත්නම් එක වැරදියි. එහෙම නම් විපක්ෂ නායකයා කියලා වෙනත් කාවවත් කැදවන්නත් බෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ නෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම කල්දාන්න ඕනෑ. නියෝජිත සංඛ්‍යාව බැහැර කරලා.යම් ආකාරය රැස්වීමක් පැවැත්වෙනවා නම් මං හිතන්නේ එක තමයි සම්ප්‍රදාය කඩ කිරීම. එක නිසා විපක්ෂනායක වරයා පත්වෙලා තියෙනවා නම් එතුමාට ඒ ආරාධනාව කළ යුතුම තිබෙනවා. කතානායකතුමා නිල වශයෙන්ම පාර්ලිමෙන්තුව තුළ විපක්ෂනායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව භාරගන්නවයි කියන කාරණය නිවේදනය කරලා තිබුනා. මං හිතන්නේ ආයේ එතනින් එහාට අය අලුතෙන් පාර්ලිමේන්තුව රැස්වෙනකම් බලන් ඉන්නවා නම් එහෙම නැත්නම් පාර්ලිමෙන්තු‍වේ වෙනත් කාර්යක් සිදුවෙනකම් බලන් ඉන්නවා නම් එක වැරදියි. මං හිතන්නේ පාර්ලිමෙන්තු සැසිවාරය එදාම කල්දැම්මොත් මේ රටේ විපක්ෂ නායකවරයෙක් නැතිවෙයි. මේ කියන සම්ප්‍රදායක හා මේ කියන නිතිරිවලට හැම දෙයක්ම යටත් කරන්න ගියොත් මොකද අපි හිතමු යම්විදිහකින් ජනවාරි තුන්වෙනිදා පාර්ලිමෙන්තුව රැස්වෙනවා රැස්වෙලා ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය කරනවා ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරුවට පස්සේ නැවත වතාවක් ගැසට් නිවේදනයකින් පාරල්ලිමෙන්තුව කල් දානවා.එහෙම කරන්න පුලුවන්නේ එහෙම කලොත් විපක්ෂනාවක වරයෙක් මේ රටේ නෑනේ. දැන් ඒ අනුව සම්ප්‍රදාය ගැන සම්ප්‍රදායන අනුව කතා කරනවා නම්. මං කියන්නේ මෙතෙන තියෙන්නේ මහජන මතය මහජන මතය කියන එක ඉතාම වැදගත් මහජනයාගේ කැමැත්ත අනුව සියලු දේම තීරණය විය යුතුව තිබෙනවා
ලබන ජනවාරි 03 වැනිදා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරන අවස්ථාවේ විපක්ෂ නායකවරයාට හිමි අසුන මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර නොමැත. පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කළහොත් විපක්ෂ නායක අසුන ප්‍රේමදාස මහතාට වෙන්කළ හැකි බව ය. නැතහොත්, ජ්‍යෙෂ්ඨත්වය මත අසුන් පැනවෙනු ඇති . කතානායකවරයා මීට පෙර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ පක්ෂ අභ්‍යන්තරයේ සාකාච්ඡා කර විපක්ෂ නායක ධූරය තීරණය කර තමන්ට දැනුම් දුන් පසු විපක්ෂ එය පිළිගන්නා බව ය. යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායකවරයා ගැන නිල වශයෙන් දැන් තීරණයක් ගෙන දැනුම් දී තිබේ. එසේ තිබියදී දැන් කතානායකවරයා පවසන්නේ ජනවාරි 3 වනදා පස්වරුවේ විපක්ෂ නායකවරයා පිළිබඳව නිල නිවේදනය සිදුකරන බව ය. වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා
මේ විපක්ෂ නායක ධුරය ලබාදීමම එක්තරා විදිහකට අර කැරට් අලයක් ලබාදුන්න දෙයක්ද? එහෙමත් නැත්තන් මේක කල් මරන්න ගත්ත දෙයක්ද? එහෙම නැත්තන් මේක මර උගුලක්ද කියන ප්‍රශ්නය තියෙනවා.මොකද මේ ධූරය ලබාදුන්නාට සැසිවාර කල්තැබුවොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පස්සේ , තවත් මාස 2 කටත් පාර්ලමේන්තුව කල්තැබුවොත් මැතිවරණය තෙක් හෝ පාර්ලිමේන්තුව කල්තැබුවොත් විපක්ෂ නායකවරයාට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඒ බලතල ලබාදී තිබෙනවාද? මේක අපිට නැවත නැවතත් පෙන්නුම් කරන්නේ, නැවත නැවතත් අපිට සිහියට නැගෙන්නේ මේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂක කම ලබාදුන්නා හා සමානව මේක ඇදගෙන ඇදගෙන ඇදගෙන ගිහිල්ලා දවස් 35කට කලින් අපේක්ෂකකම දුන්නා හා සමානව මේ විපක්ෂනායක කමත් කැරට් අලයක් වගේ දීලා මැතිවරණය තෙක් ඇදගෙන යනවාද කියන සැකය අපිට තියෙනවා.මෙය හුදෙක් සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නයක් නෙමෙයි.මෙය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියන පුද්ගලයන් මේ සූදානම් වෙන්නේ ජනතාවට ද්‍රෝහිකම් කරන්න.ලක්ෂ 55ක ජනවරමක් ලබාදුන්නු නායකයාව ආයේ ආයේ බිත්තියට හිරකරලා කල්මරලා නායකත්වයක් නොදී, විපක්ෂ නායකත්වයක් නොදී ඒක කල් මරලා,ඇදගෙන ගිහිල්ලා අවසානයේදී මැතිවරණය වෙන විට ඒ ජනතාව අකර්මන්‍ය කරලා මේ මහ මැතිවරණ සටනත් දුර්වල කරන උපක්‍රමයක් කියන එක බොහොම පැහැදිලිව පේන්න තියෙනවා