විදුලිබල පනත සංශෝධනය කිරීමට විශේෂ කමිටුවක්

විදුලිබල පනත සංශෝධනය කිරීමට විශේෂ කමිටුවක්

by Staff writer 06-12-2019 | 1:17 PM
COLOMBO (News 1st) : ජාතික විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී මෙරටට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව අවධානය යොමු කර තිබිණ. නිවේදනයේ දැක්වෙන්නේ, 2020 වසරේ අප්‍රේල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට බලපෑ හැකි අතර එම අර්බුදය, විදුලි කප්පාදුවක් දක්වා යා හැකි යැයි මෙහිදී ප්‍රකාශ වූ බවයි. ජාතික පද්ධතියට අලුතින් විදුලි ධාරිතාවක් එක් නොවීමට ප්‍රධාන හේතුව ජාතික විදුලිබල පනත බවත්, එහි ඇතැම් වගන්ති, නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට බාධාවක් වූ බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා, සඳහන් කර ඇත්තේ විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ වගන්ති එහි ඇත්නම් ඒවා සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙසයි. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක වන අතර ලබන සතියේදී මේ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.