විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

by Staff writer 05-12-2019 | 7:50 PM
COLOMBO (News 1st) : විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කළේ ය. එම තීරණය අද පස්වරුවේ පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයාට ලිපියකින් දැනුම්දී තිබිණ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ රැස්වුණේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමට සහභාගීවූ අතර සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීමට යෝජනා කර තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතායි. එම යෝජනාව අද රැස්වීමේදී ඒකමතිකව සම්මත විය. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගනු ලැබූ තීරණය පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ. කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායකවරයා විසින් පිළිගනු ලැබ ඇති බවයි.