රිෂාඩ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්

රිෂාඩ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්

by Staff writer 05-12-2019 | 7:51 PM
COLOMBO (News 1st) : විල්පත්තු වනයට හානි කිරීම හා අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව විවිධ පාර්ශ්ව තමන්ට කරන චෝදනා පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂා කරන්නැයි, හිටපු ආමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ජයග්‍රහණය පිළිබඳව සුබ පතමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ. එම ලිපියේ සඳහන් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමා ඉලක්ක කර ගනිමින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි. විල්පත්තු රක්ෂිතය හෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සහ ත්‍රස්තවාදී සහරාන් සමග සබඳතා පැවැත්වීම එම චෝදනා අතර මූලික වන බව හිටපු අමාත්‍යරවයා පවසයි. රිෂාඩ් බදියුද්දීන් මහතා සඳහන් කර ඇත්තේ, එම ත්‍රස්තවාදී ප්‍රහාරයට තමා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා, පාර්ලිමේන්තු කාරක සභාවකින් විමර්ශනය කළ අතර, පොලිසිය කළ පරීක්ෂණ හමුවේද තමා නිර්දෝෂී යැයි එවක වැඩබලන පොලිස්පතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබූ බවයි. එවැනි තත්ත්වයක් තුළ මෙම පිරිසක් යළි එම මාතෘකා කරළියට ගෙන එන්නේ බේද ඇති කර රට අස්ථාවරත්වයට පත් කිරීමේ උත්සාහයක් සඳහා බව රිෂාඩ් බදියුද්දීන් මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය. 1990 වසරේ උතුරේ අවතැන්වූ මුස්ලිම් ජනතාව 2009 වසරේදී ඔවුන්ගේ ගම්බිම්වල නැවත පදිංචි කිරීමට එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස ලබාදුන් සහය කෘතඥතා පූර්වකව සිහි කරන බවද එම ලිපියේ සඳහන්ව ඇත. තිස් වසරක් අත්හැර දමා තිබු මේ ඉඩම් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නම් කෙරුණු බවත්, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යථාර්ථය අවබෝධ කරගෙන එම ජනතාව නැවත පදිංචි කරවීමට කටයුතු කළ බවත් බදියුද්දීන් මහතා පෙන්වා දී තිබේ.