මිරිහාන රැඳවුම් කඳවුරේ මෙහෙයුමක්

මිරිහාන රැඳවුම් කඳවුරේ මෙහෙයුමකින් උපකරණ රැසක් පොලිස් භාරයට

by Staff writer 05-12-2019 | 5:42 PM
COLOMBO (News 1st) : මිරිහාන රැඳවුම් කඳවුරේ කළ මෙහෙයුමකින් ජංගම දුරකථන 75 ක් ඇතුළු රැඳවියන් නීතිවිරෝධීව තබා ගෙන සිටි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, පොලීසිය ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද පෙරවරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. සොයා ගත් භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක 5 ක් ද වේ. මීට අමතරව ඔවුන් සතුව තිබූ රුපියල් එක් ලක්ෂ 56000 ක මුදලක් ද පොලිස් භාරයට ගැනිණ. ගයාන් මිලින්ද මහතා පැවසුවේ, ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයින් 118 දෙනෙකු රඳවා සිටින බවයි. ඉන් 55 දෙනෙකු නයිජිරියානු ජාතිකයින් ය. සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසී ය.