උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

by Staff writer 05-12-2019 | 7:20 AM

COLOMBO (News 1st) - බණ්ඩාරවෙල සහ දියතලාව අතර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් කොළඹ සිට පැමිණෙන දුම්රිය දියතලාව දක්වා සහ බදුල්ල සිට පැමිණෙන දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අතරතුර මගී ප්‍රවාහනය බස් රථ මගින් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 4300 කට අයත් පුද්ගලයින් 14,447 ක් පීඩාවට පත් ව සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 1169 ක් අවතැන්ව ඇති බවයි. ඉන් සිදුව ඇති නිවාස හානි සංඛ්‍යාව 270 ක්. පවතින තද වැසි සහිත කාලගුණයත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කෙරුණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දුන් බවයි.