ගුරුවරුන් වෙනුවෙන් කැබිනට් තීන්දුවක්

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 05-12-2019 | 10:47 AM

COLOMBO (News 1st) - ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පත් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ, අනුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල පීඨයන් බවට පත් කර ගුරුවරුන් සඳහා උපාධි සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි විය. ඒ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමේ වැඩසටහන යටතේ එම යෝජනාව ඉදිරිපත් කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමේදී ශාස්ත්‍රීය සහ නෛතිකමය කාර්යයන් ඉටු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද නියමිත ය. ඒ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය වන ආකාරයෙනි. මීට අමතරව අධ්‍යාපන සේවා සංවෘත සේවාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, අනුව අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ විෂය පිළිබඳ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කෙරෙනු ඇති. වෘත්තීයමය ගැටලු කඩිනමින් විසඳීම, සේවා ඇගයීම් විධිමත්ව හා පාරදෘශ්‍යභාවයෙන් ඉටු කිරීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම, සේවා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම තුළින් යහපත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම එහි අරමුණයි. තව ද රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විණි.