මහ වැසි නිසා පුද්ගලයින් 29804කට පීඩා

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 29804ක් දක්වා ඉහළට

by Staff writer 05-12-2019 | 3:14 PM
COLOMBO (News 1st) : වර්ෂාධික කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 29 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බවයි. එම සංඛ්‍යාව 22 614කි. ඊට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 297 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 779 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ 867 දෙනෙක් වර්ෂාධික කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති. නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 589 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 29 ක රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. වැසි සහිත කාලගුණයෙන් සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 299කි. විපතට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩව සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශ 18 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පැවසුවා ය. වර්ෂාවත් සමග මහනුවර, බදුල්ල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසී ය. මේ අතර අද පෙරවරු 8 30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 මඩකලපුව කිරාන් ප්‍රදේශයෙන් වාර්තා විය. මීට අමතරව කන්තලේ ප්‍රදේශයට මිලිමීටර් 182 ක්,කුරුළුවැවට මිලිමීටර් 163 ක් හා පොළොන්නරුවට මිලිමීටර් 116 ක් අදාළ කාලය තුළ ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.