සහල් මිල ඉහළට යාම ජන ජීවිතයට බාධාවක්

වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළට - පාරිභෝගිකයිගෙන් මැසිවිලි

by Staff writer 04-12-2019 | 10:22 AM

COLOMBO ( News 1st ) - වෙළෙඳපොළේ සහල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

ඔවුන් සඳහන් කළේ, බොහෝ සහල් වර්ගවල මිළ ගණන් රුපියල් 100ත් 150ත් අතර මට්ටමක පවතින බවයි. මෙය තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට දැඩිව බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අභ්‍යන්නර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. ඒ, අනුව දැනට රජය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 40000 ක් කඩිනමින් සහල් බවට පත්කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. එය ලක් සතොස හරහා ඉදිරි සතියේදී වෙළෙඳපොළට ලැබෙනු ඇති. කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ය.