මහේන්ද්‍රන් ගැන කළ ඉල්ලීමට සිංගප්පූරුවේ අවධානය

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම සිංගප්පූරුව අධ්‍යයනය කරමින් සිටින බව අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 04-12-2019 | 1:31 PM

COLOMBO ( News 1st ) - මහ බැංකු බැඳුම්කර සිද්ධියේ පළමු විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ දිවයිනට ගෙන්වා ගැනීමට ලක් රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ මහතා බස්නාහිර පළාත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නේ ය.

ඔහු අධිකරණයට පැවසුවේ එම ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව එරට නීතියට අනුකූලදැයි සළකා බැලීමෙන් අනතුරුව උදර්පන නියෝග ලබා ගැනීමට සුදුසු අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ බැඳුම්කර වංචා නඩුව අද සළකා බැලිණි. මේ අතර නඩුවේ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා නැවත සිතාසි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල අද නියෝග කළහ. බැඳුම්කර නඩුවේ 6 වැනි විත්තිකාර ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබන 6 වනදා සිට මාසයක කාලයකට විදේශ ගතවීමට ද අධිකරණය අද අවසර ලබා දුන්නේ ය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුව ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා කල් තැබූ හ.