කුසුම්දාස හා දිසානායකට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19

කුසුම්දාස හා දිසානායකට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19 වනදා

by Staff writer 04-12-2019 | 5:41 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානයක යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව ලබන 19 වනදා නිකුත් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද, දින නියම කළේ ය. ඔවුන්ට එරෙහිව මෙම නඩුව විභාග වූයේ කන්තලේ සීනී සමාගම සතුව තිබූ ගොඩනැගිලි සහ යකඩ පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා සීනි සමාගමේ‍ ප්‍රධානියාගෙන් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේයි. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කළේ ය. ශ්‍රී ලංකා සිනී සමාගමෙ ප්‍රධානී ඩප්පයියා නඩරාජා මහතා විසින් කරන ලද පැමිණිලල්කට අනුව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් 2018 පෙබරවාරී 27 වනදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථ ගාල්ලේදී එකී අල්ලස ලබා ගත් අවස්ථාවේදී එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබී ය.