ඇමරිකාව සම්මත කර ගත් පනතට චීනය විරෝධය පළ කරයි

ඇමරිකාව සම්මත කර ගත් පනතට චීනය විරෝධය පළ කරයි

by Staff writer 04-12-2019 | 9:32 PM
COLOMBO (News 1st) : චීනයේ සින්ජියැන්හි වෙසෙන මුස්ලිම් ජාතින් රැඳී සිටින කඳවුරු සම්බන්ධයෙන් ඇමරිකාව තුළ පසුගියදා පනතක් සම්මත කර ගැනිණ. එය දෙරටේ ද්විපාර්ශවික සබඳතාවලට දැඩි බලපෑමක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙයි. චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක හුවා චුන්යින් ෂින්හුවා පුවත් සේවයට ප්‍රකාශ කළේ, මෙම පනතට චීනය සිය විරෝධය පළ කරන බවයි. මේ අතර, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරින නමයක් ඇමරිකානු නාවික හමුදාවට තැනීම සඳහා ඩොලර් බිලියන 22.2ක කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබේ. චීනය දැවැන්ත නාවික සංචිතයක් ස්ථාපිත කරන බවට ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධානියා අනතුරු අඟවා මාස කිහිපයකට පසුව මේ ආකාර කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට ඇමරිකාව තීරණය කර තීබීම විශේෂත්වයකි. චින සාගර පර්යේෂණ නෞකාවක්, අන්දමන් හා නිකොබාර් දූපත් සමූහය ආසන්නයේදී ඉන්දීය යුද නෞකා පළවා හරින්නේද මෙවන් පසුබිමකයි. ඉන්දියාව හා චීනය අතර එකම කලාපය තුළ තරගකාරි වාතාවරණයක් තිබියදී, චීන යුද නැව් සහ පර්යේෂණ යාත්‍රා ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වන බවට සැක මතුවීම මීට එක් හේතුවකි. මේ සියල්ල අතර, චීන - ඇමරිකා වෙළඳ යුද්ධයද තවදුරටත් ත්වූර වෙමින් පවතින අතර එය ගෝළීය ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.