රුපියල් බිලියන 5,600ක බැඳුම්කර ගනුදෙනු යට යයිද?

2002 සිට 2015 දක්වා සිදු කළ රු. බිලියන 5,600ක බැඳුම්කර ගනුදෙනු යට යයිද?-හඳුන්නෙත්ති කතා කරයි

by Chathuranga Rajapaksha 03-12-2019 | 4:36 PM

COLOMBO (News 1st): පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කාරක සභා අවලංගු වීමත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්විය නොහැකි බව එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවට ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සාමාජිකයින් අද දිනයේ රැස්වීමට නියමිතව සිටි බව ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු ඒ බව සඳහන් කළේ ය. ඒ, අනුව 2002 වසරේ සිට 2015 පෙබරවාරි 28 දක්වා රුපියල් බිලියන 5,600ක බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ සිදු කළ සම්පූර්ණ විගණන වාර්තාවේ වැඩ කටයුතු නවතින බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ රජයන් යටතේ සිදු කළ පාලන යුග දෙක මීට ඇතුළත්වන බව හඳුන්නෙත්ති මහතා කියා සිටියේය. කෝප් කමිටුවේ නිර්දේශ මත රුපියල් මිලියන 900ක් පමණ වියදම් කර විගණන 5ක් පමණ සිදු කර ඇති බව ද ඔහු කියා සිටියේය. යළි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු මීළඟට පත්වන කෝප් කමිටුව විසින් මෙහි ඉදිරි කටයුතු කරගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.