හම්බන්තොට ගිවිසුම ගැන ජනපති කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වයි

by Staff writer 03-12-2019 | 9:15 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය ව්‍යාපෘති පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟතා මත තවදුරටත් සහයෝගිතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශවය එකඟවී ඇතැයි චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය අද වාර්තා කර තිබේ.

දැනට පවතින එකඟතා මත සහයෝගිතාව පුළුල් කර ගැනීම සම්බන්ධ අනාගත සැලැස්මක් සකස් කරගත හැකි බව තානාපති කාර්යාලයේ නිවේදනයක් උපුටා දක්වමින් චීන ෂිංහුවා පුවත් ඒජන්සිය වාර්තා කළේ ය. චීනය සමග අත්සන් කර ඇති හම්බන්තොට වරාය ගිවිසුම අත්වැරැද්දක් බව පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය සඳහන් කළේ, සහයෝගිතා ගිවිසුමට අනුව දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ ලැබෙන පරිදි එය සිදුවන බවයි. පසුගිය රජය සුදු අලියෙකු ලෙස හැඳින්වූ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් 2017 දී වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමග හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹිය. 99 අවුරුදු බදු පදනම මත හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය නමින් නව සමාගමක් ඇරඹුවේ මෙම ගිවිසුමට අනුවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා වෙබ් අඩවියකට පවසා තිබුණේ හම්බන්තොට වරාය යළි අවශ්‍ය බවයි. එම නිසා ඊට අදාළ ණය වාරිකා එකඟවී ඇති පරිදි නියමිත වේලාවට ගෙවන බව ඔහු සඳහන් කර තිබුණි. චීනය සමග ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ ඇති කරගන්නා සම්බන්ධතාවය පසුගිය වසරේදී පකිස්ථාන සහ මැලේසියාව වැනි රටවල නව රජයන් අනුගමනය කළ ක්‍රියාවන්ට සමාන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. එම රටවල පැවති රජයන් චීනය සමග ඇති කරගත් ගිවිසුම් සමාලෝචනය කර එකඟවීමට පියවර ගැනීම ලෝක දේශපාලනයේ කතා බහට ලක් වූ කරුණක් ය. මේ අතර හම්බන්තොට වරාය මේ වන විට භාණ්ඩාගාරයට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. ඒ, 2017 දී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල චීනයට ණය ගෙවීම සඳහා යොදා ගැනීමට යොමුවන බවට වූ කතාබහක් සමගයි. මෙම ණය පියවීම සඳහා එම වටිනාකමට සරිලන පරිදි හම්බන්තොය වරාය සමාගමේ කොටස් චීනයට ලබාදීමක් ගැන පසුගිය දිනවල සාකච්ඡා විය. මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, මෙම ගනුදෙනුවේදී එවැන්නක් සිදු නොවූ බවයි. එකඟවූ මුදල් භාණ්ඩාගාරයට ලැබීමෙන් පසුව එම මුදල් ණය ආපසු ගෙවීමට යෙදවූ බව ඔහු සඳහන් කළේ ය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙන් තොරතුරු ලබාගැනීමට අප උත්සාහ කළ ද ඔවුන් පැවසුවේ මේ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි.