ශ්‍රී ලංකාවේ නාය යෑම් අවම කිරීමට අමෙරිකාවෙන් සහය

ශ්‍රී ලංකාවේ නාය යෑම් අවම කිරීමට ගන්නා උත්සාහයට අමෙරිකාවෙන් සහය

by Staff writer 03-12-2019 | 9:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ නාය යෑම් අවම කිරීමට ගන්නා උත්සාහයට සහය දක්වන බව අමෙරිකාව පවසයි.

මෙරට පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. එම නිවේදනයේ දැක්වෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදය කළුතර, නික්ගහ ප්‍රදේශයේ නාය කළමනාකරණය වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නාය අධික්ෂණ උපකරණ පරිත්‍යාග කළ බවයි. ඒ අනුව අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉංජිනේරුවන් සහ භූ විද්‍යාඥයින් පිරිසක් ඉකුත් නොවැම්බර් 5 වෙනි දා සිට 15 වැනි දා දක්වා මෙරටට පැමිණ නාය යෑම් පරීක්ෂණ උපකරණ මෙරට ස්ථාපනය කිරීමට ද කටයුතු කළ බව තානාපති කාර්යාලය පවසයි. එමෙන්ම නාය යෑම් සිතියම්කරණයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ආපදා ප්‍රතිචාරයේදී විද්‍යාඥයින්ගේ කාර්ය භාරය ආදිය සම්බන්ධයෙන් ද අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ නිලධාරීන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් දැනුවත් කර තිබේ. තානාපති කාර්යාලයේ නිවේදනයේ දැක්වෙන්නේ, අමෙරිකාවේ විදේශ ආපදා කාර්යාලය ද මෙරට නාය යෑම් අපදා අවම කිරීම සම්බන්ධයෙන් දායකත්වය සපයා ඇති බවයි.