COLOMBO (News 1st) - වලපනේ, මලපට්ටාව ප්‍රදේශයේ නාය යෑමේ සිද්ධියට බල පෑ බව කියන ගල් කඩන ස්ථානට විරෝධය පළ කරමින් අද භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත විය.
මෙම අනතුරින් එකම නිවසක වාසය කළ තිදෙනෙකු මිය ගිය අතර පාසැල් දරුවෙක් තවමත් අතුරුදහන් ය.
වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගය, නාරන්තලාව මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද උදෑසන සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
නුවරඑළිය, වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 58 හැවිරිදි ජී. ජී. රංබණ්ඩා මහතාත් ඔහුගේ බිරිඳ වූ 52 හැවිරිදි බිසෝ මැණිකා මහත්මිය හා ඔවුන්ගේ 17 හැවිරිදි ඥාති දියණියකට ජීවිත අහිමි විය.
නිවසේ සිටි බව කියන මිය ගිය යුවළගේ 16 හැවිරිදි පුත්‍රයා තවමත් සොයා ගැනීමට හැකිවී නැත.
මේ ජීවිත අවදානම ගැන මිය ගිය රංබණ්ඩා මහතා නිව්ස්ෆස්ට් සමග අනාවරණය කළේ, මීට වසර කිහිපයකට පෙරයි.
නාය ගිය රංබණ්ඩා මහතාගේ නිවසට ඉහළින් මීටර් සියකටත් අඩු දුරකින් ඇති මේ ස්ථානයේ ස්වභාවික ගල කඩා ඉවත් කිරීම වළක්වා ගැනීමට පසුගිය කාලය පුරාම නොහැකි විය.
ගම්වාසීන් පවසන්නේ, අධිබලැති පිපුරුම් කන්ද අස්ථාවර වී නාය යෑමට හේතුවක් විය හැකි බවයි.
2007දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කළ පරීක්ෂණයකින් මෙම ස්ථානයේ පසෙහි දුර්වල ස්භාවය හඳුනාගෙන අතර නාය යෑමේ දැඩි අවදානමක් පවතින බවට තීරණය කර තිබේ.
පදිංචිකරුවන්ට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබුණේ ද එම සොයා බැලීම්වලින් පසුවයි.
නමුත් ජනතාවගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නමුත් නාය යෑමේ අධික අවදානමක් පවතින බව හඳුනාගත් ස්ථානයේම ගල් කඩන ස්ථානයක් පවත්වාගෙන යාමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනුමැතිය දී තිබුණි.
ඔවුන් පැවසුවේ, පොළොවට බලපෑමක් නොවන බවට ඊට අදාළ ආයතනවලින් ලැබුණු නිර්දේශ මත ගල් කඩන ස්ථානය පවත්වාගෙන යාමට අනුමැතිය දුන් බවයි.
මලපට්ටාව ගම්වාසීන් පවසන්නේ, දීර්ඝ කාලයක සිට සිදු කළ පිපිරීම් හේතුවෙන් තම නිවාස ඉරිතලා ඇති බවයි.
මෙම ගල් කැඩීම් ස්ථානය සඳහා බලපත්‍රය නිකුත් කර ඇති චීන සමාගම 2011 සිට 2015 දක්වා වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක ඉදිකිරීම් සිදු කළ අතර එම කාලයේ මෙම ගල් කඩන ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.
එම සමාගම මේවනවිට රාගල - උඩුපුස්සල්ලෑව මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන අතර පසුගිය වසරේ සිට ඔවුන් මෙම ගල් වැඩපල නැවත ආරම්භ කිරීමට උත්සහ කළ ද ජනතාවගෙන් එල්ලවුනේ ඊට දැඩි විරෝධයකි.
එම විරෝධය නොතකා ඔවුන් ලැබුණු නීතිමය අයිතිය භාවිත කරමින් පසුගිය මාර්තු මස 1 වෙනි දා ගල් කැඩීමේ ස්ථානය අදාළ සමාගම නැවත ආරම්භ කර තිබේ.
අද වලපනේ ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේදී මෙම ගල් වැඩපලට අවසරදීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා පිළිබඳව සභාපති අජන්ත හිත්තැටිය මහතා ප්‍රකාශයක් කළේ ය.
වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති, අජන්ත හිත්තැටිය,
මේකට අවසර දෙන්න බලපෑම් ආවා ආණ්ඩුකාරවරයාගෙනුත් බලපෑම් ආවා / චීන සමාගම කිව්වා මේක ජනාධිපතිවරුන් අතර එකඟතාවයක් කියලා බැරිම තැන තමයි දුන්නේ
වලපනේ ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙය භූ විද්‍යා හා පාතල් කැනීම් කාර්යාංශයේ බලපත්‍රයක් සහිතව පවත්වාගෙන ගිය බවයි.
ගල් කඩන ස්ථානය සම්බන්ධයෙන් යළි පරීක්ෂා කරන්නැයි එම කාර්යාංශයට දැනුම්දී තිබු බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ ය.