ජාතික පාසල් 274ක විදුහල්පති පුරප්පාඩු

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

by Staff writer 03-12-2019 | 6:26 AM
COLOMBO (News 1st) : අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජාතික පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේ.  අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු පවතින විදුහල් සම්බන්ධයෙන් සහ විදුහල්පති පුරප්පාඩු සඳහා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව ඇතුළු කරුණු යටතේ, අමාත්‍යවරයා විසින් එම වාර්තාව ඉල්ලා ඇති බවයි. ඒ අනුව, මෙතෙක් ලැබී ඇති අයදුම්පත් සලකා බලා සුදුස්සන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගන්නා බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. අමාත්‍යාංශය පැවසුවේ, ලබන මාසය අවසන් වීමට පෙර පුරප්පාඩු පවතින ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් අනියුක්ත කිරිමට සැලසුම් කර ඇති බවයි. මීට පෙර ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබු අතර, ඉන් තෝරා ගත් පිරිසට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම හමුවේ එම කටයුතු ප්‍රමාද විය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්, කණ්ඩායමක් මගින් ලැබී ඇති අයදුම්පත් සලකා බලා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කිරිමට පියවර ගන්නා බවයි. ජාතික පාසල් 274 ක මේ වන විට විදුහල්පති පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.