කම්මුරි පිලිපීනයට කඩා වදී

කම්මුරි පිලිපීනයට කඩා වදී

by Staff writer 03-12-2019 | 9:08 AM
COLOMBO (News 1st) : කම්මුරි සුළි කුණාටුව කඩා වැදීම හමුවේ පිලිපීනයේ වෙරළබඩ සහ උසස් බිම් ආශ්‍රිතව දිවි ගෙවූ පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පිලිපීන රජය සඳහන් කළේ, මේ හමුවේ එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැනිලා ගුවන්තොටුපළ අද පෙරවරුවේ සිට පැය 12 ක කාලයක් වසා දැමීමට පියවර ගන්නා බවයි . මේ හමුවේ ඉකුත් සෙනසුරාදා ඇරඹි අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ ඇතැම් තරඟ අංශ අවලංගු කිරීමට පියවර ගත් බව ද එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ. මේ වසරේ පිලිපීනයට කඩාවැදුනු 20 වන සුළි කුණාටුව වන කම්මුරි , පිලිපීනයේ ලූසොන් දූපතට කඩාවැදුණේ, පැයට කිලෝමීටර 175 ක වේගයකිනි. හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන මෙය හේතුවෙන් පිලිපීනයේ පළාත් 35 කට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. පිලිපීන කාලගුණ විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ අද මධ්‍යහනේදී සුළි කුණාටුව මැනිලා අගනුවර ආසන්නයේ හමා යනු ඇති බවයි . මේ හමුවේ පිලිපීනයේ නිනෝයි අකීනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළද වසා දමා ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට මෙන්ම අසල පිහිටි පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබේ. ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල වන මෙම සුළි කුණාටුව පිලිපීන ජනතාව අමතන්නේ ටිසෝයි යනුවෙනි. පිලිපීන ජනතාව තමන්ට හුරු නමකින් කුණාටුව නම් කිරීමෙන් ඉන් එල්ලවන තර්ජනය මනාව අවබෝධකරගෙන ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කළේ ය.