අද රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 03-12-2019 | 4:55 PM

COLOMBO ( News 1st ) - උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේ සිට වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින අවට පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කළ හැකි ය. උතුරු මැද, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල සහ මාතලේ , මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වව්නියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර දිවයිනට ගිණිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. තද වැසි තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩිවිය හැකි ය. ඒ, පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේය.